උතුරු කොරියාව විසින් කාබන් ෆයිබර් (Carbon Fibre) තාක්ෂණය භාවිත කරමින් නිපදවන ලද නව ඝන ඉන්ධන රොකට් එන්ජිමක් (Solid-fuel rocket engine) සාර්ථකව අත්හදා බලා ඇති බව දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණ කරයි. මෙම නව තාක්ෂණය හරහා මිසයිලයේ බර අඩු වන අතර, එමඟින් වැඩි දුරක් ගමන් කිරීමටත්, වඩාත් බරැති මෙන්ම එකවර ප්‍රහාරක හිස් කිහිපයක් (Multiple warheads) රැගෙන යාමටත් හැකියාව ලැබෙන බව සඳහන් වේ.
පසුගිය මාර්තු මාසයේදී සිදුකළ මෙම පරීක්ෂණය මඟින් උතුරු කොරියාවේ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) වල ප්‍රහාරක බලය තවදුරටත් වර්ධනය වී ඇති බව විශ්ලේෂකයෝ පවසති. මෙම නව එන්ජිම 2024 වසරේ අත්හදා බැලූ මාදිලියට වඩා වැඩි තෙරපුමකින් (Thrust) යුක්ත වන අතර, එමඟින් අමෙරිකානු ප්‍රධාන භූමියේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවට ගණන් බලා ඇත.
දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක් සුන්-වොන් මහතා ප්‍රකාශ කළේ, උතුරු කොරියානු මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කළ ඡායාරූපවලට අනුව මෙම මිසයිල සැකිල්ල සැහැල්ලු එහෙත් ශක්තිමත් කාබන් ෆයිබර්වලින් නිමවා ඇති බවයි. කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් උතුරු කොරියාව සිය මිසයිල පද්ධතිය මෙලෙස නවීකරණය කිරීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ.













