උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ නව යොවුන් වියේ පසුවන දියණිය, එරට මීළඟ අනුප්‍රාප්තිකයා ලෙස දැනටමත් නම් කර ඇති බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය (NIS) අනාවරණය කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ පැවති රහසිගත හමුවකදී බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ඇය අනාගත නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් පවතින ඕනෑම සැකයක් දුරු කිරීම සඳහා උතුරු කොරියානු රජය මේ වන විට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
මෑතකදී උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද, ඇය යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන දර්ශන මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇත. ඇය සතු යුධමය නිපුණතාවය සහ නායකත්ව හැකියාව ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමත්, විශේෂයෙන්ම කාන්තා උරුමකරුවෙකු සම්බන්ධයෙන් එරට පීතෘමූලික සමාජය තුළ පැවතිය හැකි මතභේද සමනය කිරීමත් මෙම ප්‍රචාරණයේ ප්‍රධාන අරමුණ වී තිබේ. දකුණු කොරියානු බුද්ධි අංශ අවධාරණය කරන්නේ මෙම තොරතුරු හුදු අනුමානයක් නොව, තමන් සතු විශ්වාසදායක බුද්ධි තොරතුරු මත පදනම් වූවක් බවයි. කෙසේ වෙතත්, උතුරු කොරියාවේ අභ්‍යන්තර දේශපාලන වෙනස්කම් සිදුවන තෙක් ඒ පිළිබඳව අවසන් නිගමනයකට එළඹීම අපහසු බව ඇතැම් විදේශීය විශ්ලේෂකයින් තවමත් පවසති.














