උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ බලවත් සොහොයුරිය වන කිම් යෝ ජොං හට පාලක පක්ෂයේ ඉහළ තනතුරක් පිරිනමා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය අද (24) වාර්තා කළේය. පියොංයැං නුවර පැවැත්වෙන පස් අවුරුදු කම්කරු පක්ෂ මහා සම්මේලනයේදී ඇය මෙතෙක් දැරූ නියෝජ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරයේ සිට පූර්ණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරයක් දක්වා මෙලෙස උසස් කර තිබේ.
වසර පහකට වරක් පැවැත්වෙන මෙම සුවිශේෂී පක්ෂ සම්මේලනය සඳහා දහස් සංඛ්‍යාත පක්ෂ ප්‍රභූන් සහභාගී වී සිටින අතර, එරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල සිට යුද සැලසුම් දක්වා වූ සියලු වැදගත් තීරණ මෙහිදී ගනු ලබයි. කිම් යෝ ජොං සිය සොහොයුරාගේ සමීපතම සහ බලවත්ම සහායිකාවක ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කර ඇති අතර, මෙම උසස්වීම හරහා ඇය උතුරු කොරියානු පාලන තන්ත්‍රය තුළ තවදුරටත් බලවත් වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
1980 දශකයේ අගභාගයේ උපත ලැබූ ඇය, සිය සොහොයුරා සමඟ ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබා ඇති අතර 2011 වසරේදී කිම් ජොන් අන් බලයට පත්වීමෙන් පසු පක්ෂ ව්‍යුහය තුළ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණියාය. මෙම සම්මේලනය අතරතුර උතුරු කොරියාවේ මීළඟ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළේ තීරණාත්මක පියවර කිහිපයක් ද නායක කිම් ජොන් අන් විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














