විශ්වමඩු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වී තිබේ. උතුරු පළාත් අපරාධ කොට්ඨාසයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (07) රාත්‍රී කාලයේදී පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් මෙම ප්‍රදේශයේදී වැටලීම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 205ක් සහ හෙරොයින් ග්‍රෑම් 170ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙහිදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි ප්‍රධාන සැකකරු සමඟ මෙම ජාවාරමට ආධාර සහ අනුබල දුන් තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් වයස අවුරුදු 22 සහ 32 යන වයස්වල පසුවන විශ්වමඩු ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. මෑතකදී දිවයින පුරා දැඩි ලෙස ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල තවත් එක් පියවරක් ලෙස මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














