වයඹ පළාත් සභාවේ කාර්ය සාධනය සහ විගණන වාර්තා සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2021 සිට 2024 දක්වා කාලසීමාවන්ට අදාළ විගණකාධිපති වාර්තා කෙරෙහි අවධානය යොමු වූ අතර, පළාත් සභාව විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක පවතින දැවැන්ත ප්‍රමාදයන් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව කරුණු රැසක් අනාවරණය විය. විශේෂයෙන්ම රුපියල් මිලියන 279කට අධික මුදලක් වැය කර ඉදිකිරීමට සැලසුම් කළ සයමහල් ගොඩනැගිල්ලක වැඩකටයුතු වසර කිහිපයක් ගතවී ඇතත් තවමත් මූලික අදියරේ පැවතීම පිළිබඳව කාරක සභාවේ දැඩි දෝෂදර්ශනය එල්ල විය.
මීට අමතරව කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් වාහන අනතුරු දෙකක් හේතුවෙන් සිදුවූ රුපියල් මිලියන 18කට අධික අලාභය වසර 5ක් ගතවී ඇතත් මෙතෙක් අයකරගෙන නොමැති බවද මෙහිදී හෙළි විය. එමෙන්ම කාබනික පොහොර දිරිමත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ 2021 වසරේදී මිලදී ගත් කොම්පෝස්ට් යන්ත්‍ර සහ සූර්ය බල වියලන යන්ත්‍ර කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නිෂ්කාර්යව පැවතීම සම්බන්ධයෙන් ද නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. 2002 වසරේ සිට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් සහ නිවාස සංවර්ධන අරමුදල යටතේ මිලදී ගත් ඉඩම් නිසි ලෙස අලෙවි නොවීම පිළිබඳව ද කාරක සභාව සිය අවධානය යොමු කළේය.
මෙම ගැටලු සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රගති වාර්තා සහ ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට නියෝග කරන ලදී. ඒ අනුව ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ද, අනෙකුත් ව්‍යාපෘති සහ වාහන අලාභ අයකර ගැනීම් පිළිබඳ වාර්තා මාස තුනක් ඇතුළත ද ලබාදිය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ මූලාසනයෙන් පැවැති මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියහ.














