දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, එළැඹෙන අප්‍රේල් 09 වැනිදා සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවන කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
උත්සව සමය වෙනුවෙන් ජනතාවට පහසුව සැලසීමක් ලෙස, අප්‍රේල් 04 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙරවරු 05:15ට ගල්කිස්සෙන් කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියටත්, පස්වරු 01:50ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියටත් ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දී ඇති බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. සුළි කුණාටුවෙන් මාර්ගයට සිදු වූ හානි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම සේවාවන් යළි ආරම්භ කිරීම උතුරේ ජනතාවට මහත් සහනයක් වනු ඇත.














