ජාතික ජන බලවේගය කිසිම අවස්ථාවක බුදු දහමට, මහා සංඝරත්නයට හෝ පන්සලට අසාධාරණයක් සිදු කර නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා අවධාරණය කරයි. පසුගිය කාලය පුරාම බෞද්ධ ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ගොඩනැංවීම වෙනුවෙන් රජය විවිධ ක්‍රියාමාර්ග ගත් බවත්, ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ආගමික සහජීවනය සහිතව රට ගොඩනැගීම බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි මෙරට ජනතාව තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ ද ඉහළ ප්‍රසාදයක් ගොඩනැගී ඇති බවත්, ව්‍යාජ කරුණු පතුරුවමින් ආණ්ඩුවට එරෙහිව මතයක් ගොඩනැගීමට දරන උත්සාහයන් සාර්ථක නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. වර්තමාන විපක්ෂය ‘සුන්බුන් විපක්ෂයක්’ ලෙස හඳුන්වා දුන් ඔහු, කුමන බාධක පැමිණියත් ජාතික ජන බලවේගය ජනතාව සමඟ ඉදිරියටම යන බව සහතික කළේය.














