සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ නියමිත ගාස්තුවට වඩා වැඩිපුර බස් ගාස්තු අය කරන පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන්ට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ‘1955’ ක්ෂණික ඇමතුම් අංකය විවෘතව පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ජාතික ගමනාගමන කොමිසමේ මෙහෙයුම් හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂිකා ශෙරීන් අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කළේ, මෙම උත්සව සමයේ මගීන්ට සිදුවන අපහසුතා වැළැක්වීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
බලපත්‍ර නොමැතිව ධාවනය වන ඇතැම් බස් රථ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කරමින් ජනතාව සූරාකෑමට උත්සාහ කළ හැකි බැවින් එවැනි ක්‍රියා පිළිබඳව මගීන් විමසිලිමත් විය යුතුය. කොළඹ සිට නිසි අවසරයකින් තොරව මගී ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බස් රථ හතක් ඊයේ (11) වැටලීමට නිලධාරීන් සමත්ව ඇති අතර, එම බස් රථ වහාම අධිකරණයට ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අනුමත බස් ගාස්තු ප්‍රදර්ශනය නොකරන හෝ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බස් රථ පිළිබඳව තොරතුරු ක්ෂණිකව ලබා දෙන ලෙසත්, එවැනි වංචනික ක්‍රියාවල නිරත වන බස් රථ හිමියන්ට සහ සේවකයින්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බවත් බලධාරීන් අවධාරණය කරයි.















