මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සංවිධානය කළ “මාර්ග අනතුරු නැති හෙටක් සඳහා පාසලෙන් පෙළගැසෙමු” වාර්ෂික චිත්‍ර තරගයේ බස්නාහිර පළාත් අදියර ඊයේ (07) කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අධ්‍යාපනය අමාත්‍යාංශයේ සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
පාසල් මට්ටමින් පැවැත්වුණු මූලික වටවලින් ජයග්‍රහණය කළ 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා වූ සිසුන් 200ක පමණ පිරිසක් ඊයේ පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පැවැති මෙම අවසන් මහා තරගය සඳහා සජීවීව සහභාගී වූහ. එක් එක් ශ්‍රේණි යටතේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් දක්ෂ දරුවන් සඳහා පාපැදි තෑගි වශයෙන් පිරිනැමුණු අතර, සෙසු සහභාගිවන්නන් සඳහා සහතික පත්‍ර සහ වවුචර්පත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. එච්. චන්ද්‍රපාල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. දරුවන්ගේ නිර්මාණශීලී දක්ෂතා ඔස්සේ මාර්ග ආරක්ෂාව පිළිබඳ පණිවුඩය සමාජගත කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.














