නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය ඉතා දුර්වල මට්ටමක පවතින බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. එච්. ඒ. එම්. ඉර්ෂාන් මහතා අනාවරණය කරයි. ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති දැනුම්වත් කිරීමේ ප්‍රදර්ශනයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ වසර කිහිපයකට පෙර සිදුකළ සායනික සමීක්ෂණයකින් මෙම කනගාටුදායක තත්ත්වය හඳුනාගෙන ඇති බවයි. විශේෂයෙන්ම අඹගමුව, මස්කෙළිය සහ බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල දරුවන්ගේ දත් දිරායාම ඇතුළු මුඛ සෞඛ්‍ය ගැටලු බරපතල ලෙස පවතින බව මෙහිදී අනාවරණය විය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන මූලික කරගනිමින් සිව්වන වතාවටත් පවත්වනු ලැබූ මෙම ප්‍රදර්ශනය හරහා දරුවන් සහ දෙමාපියන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන් මගින් පිරිහී තිබූ මුඛ සෞඛ්‍ය මට්ටම සියයට 60ක පමණ මට්ටමක් දක්වා අඩු කරගැනීමට හැකි වී ඇති බව ද වෛද්‍ය ඉර්ෂාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දරුවන්ගේ යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම සඳහා පාසල් මට්ටමින් සහ පූර්ව ළමාවිය මධ්‍යස්ථාන මට්ටමින් අඛණ්ඩව මෙවැනි සායනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.















