කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ ලෝක ප්‍රමුඛයා වන Nvidia සමාගම, 2027 වසර වන විට සිය AI චිප් සඳහා වන වෙළෙඳපොළ අවස්ථාව ඩොලර් ට්‍රිලියනයක් දක්වා වර්ධනය කර ගැනීමට සූදානම් වන බව නිවේදනය කර තිබේ. කැලිෆෝනියාවේ සැන් හොසේහි පැවති වාර්ෂික ‘GTC’ සමුළුවේදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං මහතා සිය නවතම උපායමාර්ගික සැලසුම් එළිදක්වන ලදී. මින් පෙර AI මාදිලි පුහුණු කිරීම (Training) සඳහා Nvidia චිප් ප්‍රමුඛත්වය ගත් අතර, දැන් ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ‘AI Inference’ හෙවත් AI පද්ධති මඟින් තත්‍ය කාලීනව ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ ක්‍රියාවලිය දෙසටයි.
මෙම නව අරමුණ ජය ගැනීම සඳහා හුවාං විසින් නව මධ්‍යම ප්‍රොසෙසරයක් (CPU) සහ Groq සමාගමේ තාක්ෂණය මත පදනම් වූ සුවිශේෂී AI පද්ධතියක් හඳුන්වා දෙන ලදී. මෙම නව තාක්ෂණය හරහා පරිශීලක ඉල්ලීම් ‘ටෝකන’ බවට පත් කරන ‘Prefill’ පියවර සහ අවසන් පිළිතුර ලබා දෙන ‘Decode’ පියවර ඉතා වේගවත්ව සිදු කිරීමට Nvidia බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම OpenAI සහ Meta වැනි සමාගම් දැන් සිය AI මාදිලි පුහුණු කිරීමේ සිට ඒවා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට සේවාවන් සැපයීම සඳහා යොමු කරමින් සිටින බැවින්, මෙම ‘Inference’ තාක්ෂණය සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව ස්වයංක්‍රීයව කාර්යයන් ඉටු කළ හැකි AI ඒජන්තවරුන් (Autonomous AI agents) සඳහා ‘NemoClaw’ නමැති නව මෙවලම ද මෙහිදී හඳුන්වා දුන් අතර, එය පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඩොලර් ට්‍රිලියන 5ක වෙළෙඳපොළ අගයක් සපුරාගත් ලොව පළමු සමාගම බවට පත් වූ Nvidia, 2028 වසර සඳහා වන ‘Feynman’ තාක්ෂණික මාර්ග සිතියම ද ඉදිරිපත් කරමින් AI යටිතල පහසුකම් වෙළෙඳපොළේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටියි.














