හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා යුවළ දේශපාලනයට නැවත පිවිසෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවද, ඔවුන් සිය වෘත්තීය ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් බ්‍රෝඩ්වේ (Broadway) නාට්‍ය නිෂ්පාදනයට එක්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ ‘හයර් ග්‍රවුන්ඩ්’ (Higher Ground) සමාගම හරහා පියුලිට්සර් සම්මානලාභී ‘Proof’ නාට්‍යය නැවත වේදිකාගත කිරීමට ඔවුන් සූදානම් වේ.
ඩේවිඩ් ඕබර්න් විසින් රචිත මෙම නාට්‍යය ගෙතී ඇත්තේ ගණිත මහාචාර්යවරයෙකු සහ ඔහුගේ දියණිය වටා වන අතර, මහාචාර්යවරයාගේ මරණයෙන් පසු හමුවන රහස්‍ය තොරතුරු ඇතුළත් සටහන් පොතක් පාදක කරගනිමින් කතාව දිග හැරේ. මෙහි ප්‍රධාන චරිත සඳහා ප්‍රවීණ නළු ඩොන් චීඩ්ල් (Don Cheadle) සහ අයෝ එඩෙබිරි (Ayo Edebiri) තේරී පත්ව සිටිති. මෙය ඔවුන් දෙදෙනාගේම ප්‍රථම බ්‍රෝඩ්වේ රංගනය වීම ද විශේෂත්වයකි.
බදාදා (මාර්තු 11) නිකුත් කළ නිවේදනයක දැක්වුණේ බුද්ධිමත්භාවය, සැකය සහ පරම්පරාවෙන් උරුම වන දේවල් පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරන මෙවැනි කතාවක් ප්‍රවර්ධනය කිරීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් බවයි. මීට පෙර චිත්‍රපට, රූපවාහිනී සහ පොඩ්කාස්ට් ක්ෂේත්‍රවල නිරත වෙමින් ඇකඩමි සම්මාන පවා දිනා ඇති ‘හයර් ග්‍රවුන්ඩ්’ සමාගම, මෙමගින් සිය කලාත්මක සීමාවන් තවදුරටත් පුළුල් කරයි.
ටෝනි සම්මානලාභී තෝමස් කේල් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම නාට්‍යය අප්‍රේල් මාසයේ සිට සති 16ක් පුරා වේදිකාගත වීමට නියමිතය. ‘Proof’ නාට්‍යය මීට පෙර 2005 වසරේදී ඇන්තනි හොප්කින්ස් සහ ග්විනෙත් පැල්ට්‍රෝගේ රංගනයෙන් ඔපවත් වූ සිනමාපටයක් ලෙස ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිර්මාණයකි.














