නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ අද (16) අලුයම ඇති වූ ගින්නකින් බරපතල තත්ත්වයේ පසු වූ රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බව නිලධාරීන් තහවුරු කරයි. කටැක් (Cuttack) නගරයේ පිහිටි SCB වෛද්‍ය විද්‍යාල රෝහලේ ට්‍රෝමා දැඩි සත්කාර ඒකකයේ (Trauma ICU) මෙම ශෝචනීය සිදුවීම වාර්තා වී තිබේ.
අද අලුයම 2:30ත් 3:00ත් අතර කාලයේදී රෝහල් ගොඩනැගිල්ලේ පළමු මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි කාන්දුවක් (Short circuit) මෙයට හේතුව බවට සැක කෙරේ. ඔඩිෂා මහ ඇමති මෝහන් චරන් මාජි මහතා ප්‍රකාශ කළේ එම අවස්ථාවේදී අදාළ වාට්ටුවේ රෝගීන් 23 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි බවයි. ඉතිරි රෝගීන් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන් නියෝග කර ඇති අතර මියගිය පුද්ගලයින්ගේ පවුල් සඳහා වන්දි ගෙවීමට ද තීරණය කර ඇත. රෝහල්වල පවතින ගිනි ආරක්ෂණ විධිවිධාන පිළිබඳව මෙම සිද්ධියත් සමඟ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














