ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක්හි පිහිටි Old Dominion විශ්වවිද්‍යාලයේ (ODU) Constant Hall අධ්‍යයන ගොඩනැගිල්ල තුළ ඊයේ (මාර්තු 12) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, සැකකරු ද මියගොස් ඇති බව විශ්වවිද්‍යාල බලධාරීන් තහවුරු කරයි.
උදෑසන 10:49 ට පමණ ආරම්භ වූ මෙම වෙඩි තැබීමත් සමඟ සිසුන් සහ කාර්ය මණ්ඩලය දැඩි භීතියට පත් වූ අතර, ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී ප්‍රදේශය මුද්‍රා තබා මෙහෙයුම් ආරම්භ කරන ලදී. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය රෝහලක් වෙත ඇතුළත් කර ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත. සැකකරු මියගිය ආකාරය පිළිබඳව ද බලධාරීන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කර නැත.
සිද්ධියත් සමඟ විශ්වවිද්‍යාලයේ සියලුම දේශන අවලංගු කර ඇති අතර, විමර්ශන කටයුතු සඳහා මද්‍යසාර, දුම්කොළ, ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කාර්යාංශයේ (ATF) නිලධාරීන් ද සහය දක්වමින් සිටී. මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ බියෙන් පලායන සිසුන් සහ පොලිස් ක්‍රියාකාරීත්වය දැක්වෙන වීඩියෝ දර්ශන රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.













