ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා සහ අමෙරිකානු මිත්‍ර පාර්ශවයන් යුද නැව් එවීම ප්‍රතික්ෂේප කිරීමේ පුවතත් සමඟ අද (මාර්තු 17) උදෑසන ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.48 කින් හෙවත් 2.5% කින් ඉහළ ගොස් ඩොලර් 102.69 ක් ලෙස සටහන් වූ අතර, අමෙරිකානු (WTI) බොරතෙල් මිල ද 2.6% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.92 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ලෝක තෙල් සහ ද්‍රව ස්වභාවික වායු වෙළඳාමෙන් 20% ක්ම ගලා යන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරාන-අමෙරිකානු යුද්ධය නිසා බොහෝ දුරට අවහිර වී පැවතීම සැපයුම් හිඟයක් ඇතිවීමට සහ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත. සැපයුම් ජාලයට ඇති තර්ජනය තවදුරටත් දැඩි කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය තෙල් නිෂ්පාදනයෙන් අඩකට වඩා නතර කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය හමුවේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිය සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය මූලෝපායික සංචිතවලින් තවත් තෙල් ප්‍රමාණයක් වෙළඳපොළට මුදා හරින ලෙසයි.
ගෝලීය බැංකු කිහිපයක්ම සිය දිගුකාලීන තෙල් මිල අනාවැකි ඉහළ නංවා ඇති අතර, Bank of America බැංකුව පෙන්වා දෙන්නේ යුද්ධය අප්‍රේල් මාසය දක්වා ඇදී ගියහොත් තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි. මේ අතර ඉන්දියාවට අයත් හෝ ඉන්දියාව බලා යන නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා ගැනීම සඳහා ඉරානය විසින් සිය අත්අඩංගුවේ පවතින නෞකා නිදහස් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ. ඊශ්‍රායලය තවත් සති කිහිපයක යුද මෙහෙයුම් සැලසුම් කර තිබීම හමුවේ බලශක්ති වෙළඳපොළේ පවතින මෙම අවිශ්චිතතාවය ඉදිරි දිනවලදී ද පවතිනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
















