අමෙරිකානු NBA පැසපන්දු තරගාවලියේ ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Lakers) කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 123-87ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔක්ලහෝමා සිටි තන්ඩර් (OKC) කණ්ඩායම සමත් විය. මෙය දින පහක් ඇතුළත ලේකර්ස් කණ්ඩායම, තන්ඩර් පිල හමුවේ අන්ත පරාජයට පත් වූ දෙවන අවස්ථාවයි.
තන්ඩර් පිල වෙනුවෙන් සුපිරි ක්‍රීඩක ශායි ගිල්ජියස්-ඇලෙක්සැන්ඩර් (Shai Gilgeous-Alexander) විනාඩි 28ක් වැනි කෙටි කාලයක් තුළ ලකුණු 25ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. මෙම ජයග්‍රහණයත් සමඟ බටහිර කලාපයේ (Western Conference) පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වූ අතර, මෙය ඔවුන් පිට පිට ලබාගත් හයවන ජයග්‍රහණය මෙන්ම අවසන් තරග 19න් වාර්තා කළ 18 වන ජයග්‍රහණය ද වේ.
ලේකර්ස් කණ්ඩායම සිය ප්‍රබල ක්‍රීඩකයන් වන ලූකා ඩොන්සිච්, ඔස්ටින් රීව්ස් සහ ලෙබ්‍රොන් ජේම්ස් නොමැතිව මෙම තරගයට අවතීර්ණ විය. තරගයේ දෙවන කාර්තුව ආරම්භ වන තෙක් කරට කර සටනක නිරත වීමට ලේකර්ස් පිල සමත් වුවද, දෙවන කාර්තුවේ අවසන් මිනිත්තු කිහිපය තුළ තන්ඩර් පිල දියත් කළ ප්‍රබල ආක්‍රමණය හමුවේ ලේකර්ස් පිල පසුබෑමකට ලක් විය. තන්ඩර් පිලේ චෙට් හෝම්ග්‍රන් ලකුණු 15ක් සහ රිබවුන්ඩ් 10ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස පිටියට පිවිසි අයිසයා ජෝ සහ ජැරඩ් මැකේන් ද ලකුණු අතරට පිවිසීමට සමත් වූහ. ලේකර්ස් පිල වෙනුවෙන් රුයි හචිමුරා ලකුණු 15ක් රැස් කළද අනෙක් ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහය අවම වීම ඔවුන්ගේ තෙවන පිට පිට පරාජයට හේතු විය.














