ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ඕල්ඩ් ඩොමිනියන් විශ්වවිද්‍යාලයේ (Old Dominion University) සිදු වූ දරුණු වෙඩි තැබීමකින් එහි හමුදා විද්‍යා මහාචාර්යවරයෙකු සහ ROTC උපදේශකයෙකු වූ ලුතිනන් කර්නල් බ්‍රැන්ඩන් ෂා (Lt Colonel Brandon Shah) ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (මාර්තු 12) උදෑසන සරසවියේ කොන්ස්ටන්ට් හෝල් (Constant Hall) ගොඩනැගිල්ල තුළ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රහාරකයා 36 හැවිරිදි මොහොමඩ් බයිලර් ජාලෝ (Mohamed Bailor Jalloh) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මීට පෙර ISIS සංවිධානයට සහය දැක්වීමේ චෝදනාවට වසර 11ක සිරදඬුවමක් විඳ 2024 දෙසැම්බර් මස නිදහස් වූවෙකි. පන්ති කාමරයකට ඇතුළු වී එය ROTC පන්තියක් දැයි විමසා ඇති ඔහු, පසුව “අල්ලාහු අක්බර්” (Allahu Akbar) ලෙස කෑගසමින් වෙඩි තැබීම ආරම්භ කර තිබේ. මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
ප්‍රහාරය අවස්ථාවේදී එහි සිටි ROTC ශිෂ්‍යයෙකු ක්‍රියාත්මක වී ප්‍රහාරකයාට පිහියකින් ඇන ඔහුව මෙල්ල කිරීමට සමත්ව ඇති අතර, එම සටනේදී ප්‍රහාරකයා මියගොස් තිබේ. ශිෂ්‍යයාගේ මෙම වීරෝදාර ක්‍රියාව හේතුවෙන් තවදුරටත් සිදුවිය හැකිව තිබූ මහා පරිමාණ ජීවිත හානියක් වැළකී ගිය බව FBI ආයතනය පවසයි. මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා FBI සහ ඒකාබද්ධ ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














