සිය බිරිඳ මෝටර් රථයකින් යටවීමෙන් මියයාමේ සිදුවීමට වරදකරු වූ හිටපු ඔලිම්පික් පාපැදි සූර රෝහාන් ඩෙනිස්, සමාජ මාධ්‍ය ජාලයක පෝර්ෂේ වර්ගයේ මෝටර් රථයක් “ආයුධයක්” (Weapon) ලෙස හඳුන්වමින් තැබූ සටහනක් හේතුවෙන් දැඩි දෝෂාරෝපණයට ලක්ව සිටී. 2023 වසරේදී ඔහුගේ බිරිඳ වූ මෙලිසා හොස්කින්ස් (ඇය ද ඔලිම්පික් පාපැදි ක්‍රීඩිකාවකි) ඔවුන්ගේ නිවස ඉදිරිපිටදී රෝහාන් පදවාගෙන ගිය මෝටර් රථයක වැදී මියගිය අතර, එම සිදුවීම සම්බන්ධයෙන් ඔහුට මාස 17ක අත්හිටවූ සිරදඬුවමක් නියම වී තිබුණි.
රෝහාන් ඩෙනිස් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අලුතින් සෝදා පිරිසිදු කරන ලද කළු පැහැති පෝර්ෂේ රථයක ඡායාරූපයක් පළ කරමින් “සැබෑම ආයුධයක්” (What an absolute weapon) යනුවෙන් සටහන් කර තිබුණි. ඔහුගේ රියදුරු බලපත්‍රය ද තවමත් තහනම් කර ඇති පසුබිමක තැබූ මෙම සටහන “අතිශය පිළිකුල් සහගත” එකක් බව දකුණු ඕස්ට්‍රේලියාවේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් සාරා ක්වික් (Sarah Quick) ප්‍රකාශ කළාය. තම බිරිඳගේ මරණයට හේතු වූ රිය අනතුර සහ එයින් ඇගේ පවුලේ අයට සිදු වූ දරාගත නොහැකි වේදනාව පිළිබඳව කිසිදු සැලකීමක් නැතිව ඔහු මෙවැනි ප්‍රකාශයක් කිරීම බරපතල වරදක් බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2023 වසරේ දෙසැම්බර් මාසයේදී සිදු වූ මෙම මරණය සම්බන්ධයෙන් මුලින් ඔහුට මාරක රිය අනතුරක් සිදු කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ නමුත් පසුව ඔහු “හානියක් සිදු වීමට ඉඩ සැලසීම” (Creating the likelihood of harm) යන ලිහිල් චෝදනාවට වරද පිළිගත්තේය. එදින මුළුතැන්ගෙයි අලුත්වැඩියාවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් රෝහාන් රථය පදවාගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලිසා එහි එල්ලී ඇති අතර ඔහු දිගින් දිගටම රථය ධාවනය කිරීම නිසා ඇය බිම වැටී රථයට යට වී තිබේ. රෝහාන් ඩෙනිස් සිය ක්‍රීඩා දිවිය තුළ ඔලිම්පික් පදක්කම් දෙකක් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනා ඇති ප්‍රබල ක්‍රීඩකයෙකි.














