ආනයනය කරන ලද ගල්අඟුරු නැව් දහයකින් (10) මේ වන විට නැව් අටක (08) ගල්අඟුරු ගොඩබා අවසන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී තහවුරු කළේය. එලෙස ගොඩබාන ලද නැව් අටෙන් (08) නැව් හයක් (06) නියමිත ප්‍රමිතියෙන් තොර බවට වාර්තා වී ඇති බැවින් එම නැව් සඳහා දඩ මුදල් අයකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාළ නැව් සඳහා පනවා ඇති දඩ මුදල් ප්‍රමාණයන් පහත පරිදි වේ:
පළමු නැව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.07ක දඩයක් පනවා ඇත. දෙවන නැව සඳහා ඩොලර් 403,601ක් ද, තුන්වන නැව සඳහා ඩොලර් 484,929ක් ද දඩ වශයෙන් අයකිරීමට නියමිතය. මීට අමතරව හතරවන නැවට ඩොලර් 345,652ක්, පස්වන නැවට ඩොලර් 500,192ක් සහ හයවන නැවට ඩොලර් 510,677ක් වශයෙන් දඩ මුදල් නියම කර තිබේ.
මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව නිවැරදිව ගණනය කිරීම සඳහා රජය විශේෂ කමිටුවක් ද පත් කර ඇත. මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන්ගෙන් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුව මගින් ඉදිරියේදී අදාළ පාඩුව සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් නිකුත් කිරීමට නියමිතය.














