මධ්‍යම පරාසයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොළට නව අභියෝගයක් එල්ල කරමින් OnePlus සමාගම සිය නවතම Nord 6 මාදිලිය ඉන්දියාවේදී එළිදක්වා තිබේ. මෙහි පවතින සුවිශේෂීම අංගය වන්නේ සාමාන්‍ය ස්මාර්ට්ෆෝනයක බැටරි ධාරිතාව මෙන් දෙගුණයක් පමණ වන 9,000mAh දැවැන්ත බැටරියක් ඇතුළත් කර තිබීමයි. මෙතරම් විශාල බැටරියක් තිබියදීත්, එය විනාඩි 70ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණයෙන් ආරෝපණය කළ හැකි 80W SuperVOOC වේගවත් ආරෝපණ පහසුකමෙන් සමන්විත වේ. මීට අමතරව, වෙනත් උපාංග ආරෝපණය කිරීම සඳහා 27W Reverse wired charging පහසුකම ද මෙහි ඇතුළත් වේ.
උසස් මට්ටමේ දර්ශන අත්දැකීමක් ලබා දීම සඳහා Nord 6 හි අඟල් 6.78ක 1.5K AMOLED “Sunburst HDR” තිරයක් භාවිතා කර ඇත. එහි 165Hz Refresh rate එකක් සහ 3,600 nits ක උපරිම දීප්තියක් (Peak brightness) පවතින බැවින් දැඩි හිරු එළිය යටතේ වුවද පැහැදිලිව තිරය දර්ශනය වේ. ඇස්වල වෙහෙස අවම කරන තාක්ෂණයන් මෙන්ම ජලයට ඔරොත්තු දෙන Aqua Touch 2.0 සහ දැඩි ආරක්ෂාවක් ලබා දෙන Crystal Guard Glass ද මෙහි විශේෂාංග වේ.
කැමරා පද්ධතිය දෙස බලන විට, 50MP Sony LYTIA-600 ප්‍රධාන සංවේදකයකින් මෙය සමන්විත වන අතර, අඩු ආලෝක තත්ත්ව යටතේ වුවද පැහැදිලි ඡායාරූප ලබා ගැනීමටත්, 4K වීඩියෝ පටිගත කිරීමටත් මෙහි ඇති OIS තාක්ෂණය උපකාරී වේ. AI Eraser සහ AI Portrait Glow වැනි කෘතිම බුද්ධි විශේෂාංග හරහා ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාව ද පරිශීලකයන්ට හිමි වේ. සෙල්ෆි ඡායාරූප සඳහා 32MP ඉදිරිපස කැමරාවක් ද මෙහි ඇතුළත් කර ඇත.














