ගෝලීය විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාම රැසක හිමිකාරීත්වය දරන Oniverse සමූහය (පෙර Calzedonia සමූහය), ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් යුරෝ මිලියන 30ක (රුපියල් බිලියන 10කට අධික) දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඔමේගා ලයින් (Omega Line) සමාගම හරහා වසර 28ක් පුරා මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන මෙම සමූහය, නවීන තාක්ෂණයෙන් යුත් නව කම්හලක් ඉදිකිරීම සඳහා මෙම මුදල් වෙන් කර ඇති බව එහි සභාපති ආචාර්ය සැන්ඩ්‍රෝ වෙරෝනෙසි (Dr. Sandro Veronesi) අනාවරණය කළේය.
ආචාර්ය වෙරෝනෙසි පෙන්වා දෙන්නේ ලාභම ශ්‍රම පිරිවැය සහිත රට වීම වෙනුවට, “උසස් ගුණාත්මකභාවය සහ තාක්ෂණික නිරවද්‍යතාව” යන සාධක මත ශ්‍රී ලංකාව තවමත් තම ජාලය තුළ ප්‍රමුඛස්ථානයක් ගන්නා බවයි. විශේෂයෙන්ම නිර්මාණය කිරීම අතිශය දුෂ්කර සහ ඉහළ තාක්ෂණික කුසලතා අවශ්‍ය වන කාන්තා යට ඇඳුම් (Bras) නිෂ්පාදනය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය සතු වෘත්තීයභාවය ලොව වෙනත් කිසිදු රටක පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත්, වර්තමාන ගෝලීය සැපයුම් දාමයේ පවතින බාධා සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයකට ප්‍රධාන අභියෝගයක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම පූර්ව කොවිඩ් අවධියට සාපේක්ෂව යුරෝපයට භාණ්ඩ නැව්ගත කිරීමට ගතවන කාලය දීර්ඝ වීමත්, ශ්‍රම හිඟයත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන සීමාවන් ලෙස හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාව දිගුකාලීන ආයෝජන සඳහා වඩාත් ආකර්ෂණීය ස්ථානයක් කිරීමට නම්, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මූල්‍ය හා මෙහෙයුම් නීතිවල “ස්ථාවරත්වයක්” පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ආචාර්ය වෙරෝනෙසි ලබාදුන් ප්‍රායෝගික පණිවිඩයයි. නීති සහ රෙගුලාසි අනපේක්ෂිත ලෙස වෙනස් වීම ආයෝජකයින්ට අවදානමක් සහ අවිනිශ්චිතතාවක් එක් කරන බව ඔහු පෙන්වා දෙයි.
Oniverse සමූහය සතු Calzedonia, Intimissimi, Tezenis සහ Falconeri වැනි ලෝක ප්‍රකට සන්නාමයන්හි සාර්ථකත්වය පිටුපස ශ්‍රී ලාංකික දෑත්වල දායකත්වය අඛණ්ඩව පවතිනු ඇති අතර, මෙම නව යුරෝ මිලියන 30ක ආයෝජනය මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ මීළඟ සංවර්ධන රැල්ල සනිටුහන් කරනු ඇත.














