ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානීන් ඇතුළු එරට ඉහළ පෙළේ නායකයින් රැසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයන්ගෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් මොහොමඩ් පක්පූර් (Mohammad Pakpour) සහ ආරක්ෂක අමාත්‍ය අමීර් නසීර්සාදේ (Amir Nasirzadeh) මියගිය බව රොයිටර් පුවත් සේවය ඇතුළු ප්‍රධාන මාධ්‍ය ජාල තහවුරු කර තිබේ.
මීට අමතරව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ උපදේශක අලි ෂම්කානි (Ali Shamkhani) ද මෙම ප්‍රහාරයෙන් මියගිය බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන නමුත් ඉරාන රජය ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. ටෙහෙරාන් අගනුවර පිහිටි උත්තරීතර නායකයාගේ නිල නිවාස සංකීර්ණය සහ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් විප්ලවීය ආරක්ෂක බලකායේ තවත් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ තත්ත්වය පිළිබඳව ද විවිධ මත පළ වෙමින් පවතින අතර, ඔහු ප්‍රහාරයට පෙර ආරක්ෂිත ස්ථානයකට යොමු කළ බව ඉරාන පාර්ශවය පවසන නමුත් ඔහු මියගොස් හෝ බරපතළ තුවාල ලබා ඇති බවට ඊශ්‍රායල බුද්ධි අංශ සැක පළ කරයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉරාන විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇත. මෙම නායකයින් ඉලක්ක කිරීම හරහා ඉරාන පාලන තන්ත්‍රය දුර්වල කිරීම සහ කලාපීය දේශපාලන වෙනසක් ඇති කිරීම ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ අරමුණ වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














