හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම වීමේ පුවත අරගලයේ ක්‍රියාකාරියෙකු ලෙස තමන්ට සංවේගජනක කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මන්ත්‍රීවරයාගේ අවාසනාවන්ත මරණය මෙන්ම මෙම දරුණු දඬුවම පිළිබඳව ද තමන් තුළ කණගාටුවක් පවතින නමුත් අධිකරණ තීන්දුවක් ප්‍රශ්න කළ හැක්කේ නීත්‍යානුකූල අභියාචනා ක්‍රියාවලියක් හරහා පමණක් බවයි. අරගලයක් තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයක් කිසිසේත්ම සිදු නොවිය යුතු වුවත් මෙම ඝාතනය එදා අරලියගහ මන්දිරය අසලින් ඇරඹුණු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව පෙන්වා දෙන ඔහු එම වටපිටාව තුළ මියගිය අරගලකරුවන්ට මෙන්ම සෑම පාර්ශ්වයකටම නිසි සාධාරණය ඉටු විය යුතු බව අවධාරණය කළේය.
වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදිය යුතු බවට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැනි විද්වතුන් පළකර ඇති මතයන් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනාධිපති සමාව යනු ඕනෑම නීතිමය ක්‍රියාවලියක පවතින අවසාන විකල්පය වන අතර ඊට පෙර අභියාචනාධිකරණය හරහා මෙම නඩු තීන්දුව නැවත සලකා බැලීමට විත්තිකරුවන්ට පූර්ණ නීතිමය අවස්ථාව පවතින බවයි. මෙම දඬුවම සම්බන්ධයෙන් වත්මන් රජයට හෝ ජාතික ජන බලවේගයට වගකීමක් පැවරිය නොහැකි බවත් රජය සහ අධිකරණය යනු ස්වාධීන ආයතන දෙකක් බවත් ඔහු මෙහිදී දැඩිව ප්‍රකාශ කළේය. අරගලය යනු කිසිදු පක්ෂයක දේශපාලන වාසියකට කළ දෙයක් නොව මහජන පීඩනය නිසා ඇතිවූ සාමූහික ප්‍රයත්නයක් බැවින් යම් පිරිසක් මෙම දඬුවම ලැබූවන් වෙනුවෙන් යුක්තිය අපේක්ෂා කරන්නේ නම් එය මහ පාරේ කෑකෝ ගසා සිදු කළ නොහැකි බවත් නීතිමය රාමුව තුළම ඊට අභියෝග කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














