කියුබානු විප්ලවය ආපසු හැරවීමට, අධිරාජ්‍යවාදීන් සහ යටත්විජිතවාදීන් දැරූ උත්සාහයන්ට එරෙහිව ශ්‍රී ලංකා – කියුබා මිත්‍ර සංගමය අඛණ්ඩව පෙනී සිටි බව, එම සංගමයේ සභාපති, ම.එ.පෙ. නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කියුබානු විප්ලවයේ 63 වන සංවත්සරය නිමිත්තෙන්, කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගිය 21 වනදා දින පැවති, ශ්‍රී ලංකා – කියුබානු මිත්‍ර සංගමයේ විශේෂ රැස්වීමේදීය.
රාජ්‍ය නායකයන් හරහාත්, වෙනත් මහජන සංවිධාන හරහාත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහාත්, ජාත්‍යන්තර මට්ටමින්ද කියුබානු ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවත් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කියුබාවට ආර්ථික තහංචි පැනවීමට එරෙහිවද සංගමය කටයුතු කළ බවද හෙතෙම පැවසිය.
කියුබානු විප්ලවය,කියුබාවට පමණක් නොව ලොව පුරා රටවල, නිදහස, ස්වාධීනත්වය අගයන සියලු ජනතාවට විප්ලවීය ධෛර්යය ලබාදුන් බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට එක්වූ , ශ්‍රී ලංකාවේ කියුබා තානාපති, Marcelo Gonzalez Garrido සඳහන් කළේ, කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් කිහිපයක් ම නිපදවීමට කියුබාව සමත් වී ඇති බවය. වෛද්‍යවරුන්ගේ හමුදාවක් කියුබාව සතු බවත්, සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩයක් නොවිය යුතු බව කියුබාවේ ප්‍රතිපත්තිය බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා – කියුබානු මිත්‍ර සංගමයේ සභාපති, ම.එ.පෙ. නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට කියුබා තානාපතිවරයාට අමතරව,මෙම අවස්ථාවට කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර, සම සමාජ පක්ෂයේ නායක, පා.ම. මහාචාර්ය තිස්ස විතාරණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර, පා.ම. වීරසුමන වීරසිංහ, පා.ම. යදාමිණි ගුණවර්ධන, ජ.වි.පෙ. වසන්ත සමරසිංහ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව යන මහත්තුරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.