නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු නෞකා පහේම අන්තර්ගතව ඇත්තේ ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය. ඊයේ (13) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විපක්ෂ නායකවරයා මෙම බරපතල චෝදනාව ඉදිරිපත් කළේය.
මෙම කාරක සභාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ගල්අඟුරු සමාගම යන ආයතනවල ඉහළ නිලධාරීන් කැඳවා තිබූ අතර, එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ නොරොච්චෝලේ බලාගාරය සඳහා ගෙන්වූ මෙම ප්‍රශ්නගත ගල්අඟුරු තොගය පිළිබඳවයි. බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට සිදුවිය හැකි හානිය සහ ඒ හරහා විදුලි උත්පාදනයට එල්ල වන බාධා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම ගනුදෙනුව පිටුපස පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායකවරයා එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.














