ඌන සේවා උපාධිධාරීන්ට සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු සේවයට එක්වීම සඳහා පවතින බාධාවන් ඉවත් කර ඔවුන්ට ද ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කළේය. අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ගුරු සේවා විවෘත බඳවා ගැනීමේදී උපාධියේ වලංගු දිනය ලෙස මුලින් නියම කර තිබූ 2025.06.30 යන දිනය, විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීම සහ රජයේ අවධානය යොමු කිරීමෙන් පසුව 2026 මාර්තු 05 දක්වා සංශෝධනය කර තිබේ. මෙය අපේක්ෂකයින් රැසකට සහනයක් වන යහපත් පියවරක් බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම සීමිත පදනම යටතේ ගුරු සේවයට බඳවා ගැනීමේදී වලංගු දිනය ලෙස සඳහන් 2023.02.10 යන දිනය ද දීර්ඝ කර දෙන ලෙස ඔහු රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
විශේෂයෙන්ම ඌන සේවා උපාධිධාරීන් මේ වන විට රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවය කරමින් පසුවන අතර, ඔවුන් පශ්චාත් උපාධි දක්වා සිය අධ්‍යාපන සුදුසුකම් වර්ධනය කරගෙන ඇති බවත් ඔහු සිහිපත් කළේය. එවැනි පිරිස් ගුරු සේවයට අනුයුක්ත කර ගැනීම හරහා ඔවුන්ගේ දැනුමෙන් රටට උපරිම ප්‍රයෝජන ගත හැකි බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.














