ලොව විශාලතම මෘදුකාංග සහ වලාකුළු පරිගණක (Cloud Computing) සේවා සපයන සමාගමක් වන ඔරකල් (Oracle) ආයතනය විසින් සිය ගෝලීය සේවක මණ්ඩලයෙන් 30,000ක පමණ පිරිසකගේ රැකියා කපා හැරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රකෝටිපති ලැරී එලිසන් (Larry Ellison) මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම සමාගම, අඟහරුවාදා උදෑසන 6.00ට පමණ අදාළ සේවකයන් වෙත විද්‍යුත් තැපෑල (Email) මඟින් නිවේදනය කර ඇත්තේ එදින ඔවුන්ගේ අවසන් සේවා දිනය වන බවයි.
මෙම දැවැන්ත සේවක කප්පාදුව ඇමරිකාව, ඉන්දියාව සහ කැනඩාව ඇතුළු රටවල් රැසක සේවකයන්ට බලපා ඇති අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉන්දියාවට බව වාර්තා වේ. ඉන්දියාව තුළ පමණක් සේවකයන් 12,000කගේ පමණ රැකියා අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෘතිම බුද්ධි (AI) තාක්ෂණය පදනම් කරගත් දත්ත මධ්‍යස්ථාන (Data Centers) පුළුල් කිරීම සඳහා ඔරකල් සමාගම දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් පවතී. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම සහ පිරිවැය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් මෙම සේවක කප්පාදුව සිදු කිරීමට සමාගම තීරණය කර ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේම මෙලෙස රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන් ඉවත් කළ සේවකයෝ දැඩි කලකිරීමට සහ කෝපයට පත්ව සිටිති. ‘Reddit’ වැනි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ වසර ගණනාවක් සේවය කළ තමන්ට දුරකථන ඇමතුමකින් හෝ දැනුම් නොදී මෙලෙස ඉවත් කිරීම අසාධාරණ බවයි. කෙසේ වෙතත්, අදාළ ලිපි ලේඛනවලට අත්සන් තැබීමෙන් පසු සේවකයන්ට හිමිවන වන්දි පැකේජයන් (Severance Package) ලබා දීමට සමාගම එකඟ වී තිබේ.














