ලොව ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු තාක්ෂණික සමාගමක් වන ඔරකල් (Oracle) ආයතනය සිය ගෝලීය මෙහෙයුම් විධිමත් කිරීමේ පියවරක් ලෙස සේවකයන් 30,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව අද (01) වාර්තා වේ. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉන්දියාවට වන අතර, එරට සේවකයන් 12,000කට පමණ සිය රැකියා අහිමි වී තිබේ.
සමාගමේ ප්‍රතිසංවිධාන කටයුතු හේතුවෙන් ඇතැම් තනතුරු අනවශ්‍ය (Redundant) වී ඇති බවත්, ඒ අනුව මෙම තීරණය ගත් බවත් සේවකයන් වෙත යොමු කළ විද්‍යුත් ලිපියක සඳහන් වේ. ඉන්දියාව තුළ ඔරකල් සමාගමට අනුයුක්තව සේවකයන් 30,000ක් පමණ සේවය කළ අතර, මෙම කප්පාදුවත් සමඟ එරට සේවක මණ්ඩලයෙන් විශාල පිරිසක් ඉවත් කර ඇත.
මීට අමතරව, ඉදිරි මාසය ඇතුළත තවත් වටයකින් සේවකයන් විශාල පිරිසක් ඉවත් කිරීමට සමාගම සැලසුම් කර ඇති බව ද වාර්තා වේ. 2025 මැයි වන විට ඔරකල් සමාගම සතුව ලොව පුරා පූර්ණ කාලීන සේවකයන් 162,000ක් පමණ සිටි අතර, වත්මන් ආර්ථික හා තාක්ෂණික වෙනස්කම් හමුවේ මෙම තීරණය ගෙන ඇති බව පෙනී යයි.














