ලොව දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ඔරකල් (Oracle) ආයතනය සිය කටයුතු සඳහා කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කිරීමට තීරණය කිරීමත් සමඟ දසදහසකට අධික සේවක පිරිසක් සේවයෙන් ඉවත් කර තිබේ. සේවකයන්ගේ දක්ෂතාවය මත නොව සමාගම නව තාක්ෂණය හරහා අඩු පිරිසකගෙන් වැඩි වැඩ කොටසක් කර ගැනීමට අපේක්ෂා කිරීම නිසා මෙම දැවැන්ත සේවක කප්පාදුව සිදු කර ඇත. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් සහ තාක්ෂණික විශේෂඥයන් රැසකට මෙලෙස එකවරම රැකියා අහිමි වී තිබීම විශේෂත්වයකි.
සමාගමේ අභ්‍යන්තර පණිවිඩ හුවමාරු පද්ධතියේ සක්‍රීය සේවක සංඛ්‍යාව දසදහසකින් පමණ එක්වරම පහත බැස ඇති බවත් බොහෝ සේවකයන්ට එදින උදෑසනම තමන් සේවයෙන් ඉවත් කළ බවට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දී ඇති බවත් වාර්තා වේ. ඔරකල් සමාගම මේ වසරේදී කෘතිම බුද්ධිය ආශ්‍රිත යටිතල පහසුකම් වෙනුවෙන් ඩොලර් බිලියන 50ක දැවැන්ත ආයෝජනයක් කිරීමට සැලසුම් කර ඇති අතර OpenAI වැනි ආයතන සමඟ එක්ව දැවැන්ත ව්‍යාපෘති රැසකට ද දායක වී සිටියි.
මීට පෙර ඇමසන් සහ පින්ටරෙස්ට් වැනි ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් ද මෙලෙස සේවක කප්පාදු සිදු කළ අතර ඔරකල් සමාගමේ මෙම පියවර හරහා තහවුරු වන්නේ ඉදිරි අනාගතයේදී තාක්ෂණික රැකියා සඳහා කෘතිම බුද්ධියෙන් දැඩි බලපෑමක් එල්ල වන බවයි. සිය මෙහෙයුම් පිරිවැය අඩු කර ලාභය වැඩි කර ගැනීම සඳහා AI තාක්ෂණය භාවිතා කිරීම සියලුම ප්‍රධාන තාක්ෂණික සමාගම්වල වත්මන් ප්‍රවණතාවය වී තිබේ.















