ලොව සුප්‍රසිද්ධ මෘදුකාංග සමාගමක් වන ඔරකල් (Oracle) ආයතනය සිය සම්පත් කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් සඳහා යොමු කිරීමේ අරමුණින් ලොව පුරා සිදුකරන දැවැන්ත සේවක කප්පාදුව යටතේ, එහි වසර 16ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු වූ ශරත් චන්දර් (Sharat Chander) මහතාගේ සේවය අවසන් කර තිබේ. ඔහු ඔරකල් සමාගමේ සංවර්ධක ප්‍රජා සහභාගීත්ව අංශයේ (Developer Community Engagement) ගෝලීය ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
ශරත් චන්දර් මහතා X (ට්විටර්) සහ LinkedIn සමාජ මාධ්‍ය ඔස්සේ සිය සේවය අවසන් කිරීම පිළිබඳව සංවේදී සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ, ලොව විශාලතම මෘදුකාංග පද්ධතියක් වන ‘Java’ ප්‍රජාව ගොඩනැගීමට දායක වීමට ලැබීම පිළිබඳව තමන් නිහතමානීව සතුටු වන බවයි. “සමහරවිට මට මේ පණිවිඩය වඩාත් හැඟීම්බරව ලිවීමට AI තාක්ෂණය භාවිතා කරන්න තිබුණා, නමුත් එවිට එය මගේ හදවතින් එන සැබෑ හඬක් වෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබුණි.
ඔරකල් සමාගම මේ වන විට දහස් සංඛ්‍යාත සේවක පිරිසක් ඉවත් කරමින් සිටින අතර, වසර 20ක සේවය කළ පිළිකා රෝගයෙන් පෙළෙන සේවකයෙකු පවා විද්‍යුත් තැපෑලක් (Email) මගින් සේවයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වේ. තාක්ෂණික ලෝකය AI දෙසට වේගයෙන් ගමන් කිරීමත් සමඟ මෙවැනි ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ගේ රැකියා අහිමි වීම ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.














