සිරියාවේ රඳවා සිටි අයිසීස් (ISIL) සන්නද්ධ කල්ලියට සම්බන්ධ යැයි සැකකෙරෙන සිරකරුවන් 5,704 දෙනෙකු ඉරාකයේ භාරයට පත් කිරීමේ මෙහෙයුම සාර්ථකව නිම කළ බව ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) නිවේදනය කරයි. දින 23ක් පුරා ක්‍රියාත්මක වූ මෙම සංකීර්ණ මෙහෙයුම ජනවාරි 21 වැනිදා ආරම්භ වූ අතර එහි අවසන් අදියර ලෙස පසුගිය පෙබරවාරි 12 වැනිදා රාත්‍රියේ විශේෂ ගුවන් ගමන් මගින් සිරකරුවන් පිරිසක් සිරියාවේ සිට ඉරාකය වෙත රැගෙන ගොස් තිබේ. සිරියාවේ කුර්දි සටන්කාමීන් (SDF) පාලනය කළ සිරකඳවුරු පිහිටි ප්‍රදේශ සිරියානු රජයේ හමුදා විසින් යළි අත්පත් කර ගැනීමත් සමඟ ඇති වූ ආරක්ෂක අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ඇමරිකානු බලධාරීහු පවසති.
ඉරාක ජාත්‍යන්තර අධිකරණ සහයෝගිතා මධ්‍යස්ථානයට (NCIJC) අනුව මෙම පිරිස අතර රටවල් 61කට අයත් පුරවැසියන් සිටින අතර ඒ අතර සිරියානු ජාතිකයන් 3,543ක්, ඉරාක ජාතිකයන් 467ක් සහ අනෙකුත් අරාබි රටවලට අයත් 710 දෙනෙක් සිටිති. මීට අමතරව යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව නියෝජනය කරන විදේශිකයන් 980කට අධික පිරිසක් ද මෙම කණ්ඩායමට ඇතුළත් වන අතර ඔවුන් ඉරාක අධිකරණ පද්ධතිය හරහා ප්‍රශ්න කිරීම්වලට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට නියමිතය. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉරාකය ලබා දෙන මෙම නායකත්වය ඇමරිකානු අද්මිරාල් බ්‍රැඩ් කූපර් මහතාගේ පැසසුමට ලක්ව තිබේ.
අයිසීස් සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයන් රඳවා සිටි සුප්‍රකට ‘අල්-හෝල්’ (Al-Hol) කඳවුරේ පාලනය ද කුර්දි සටන්කාමීන් අතින් ගිලිහී යාමත් සමඟ එහි සිටි බොහෝ පිරිස් විසිර ගොස් ඇති බව මානුෂීය සහන සේවා වාර්තා පෙන්වා දෙයි. දීර්ඝ කාලයක් තිස්සේ සන්නද්ධ කල්ලිවල තවානක් ලෙස හැඳින්වුණු මෙම කඳවුරේ සිටි විදේශීය ජාතිකයන් යළි සිය රටවලට භාර ගන්නා ලෙස ඉරාකය සහ සිරියාව ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියද, බොහෝ රටවල් ඒ සඳහා දක්වන්නේ මන්දගාමී ප්‍රතිචාරයකි. සිරකරුවන් සිරගෙවල්වලින් පැන යාම වැළැක්වීම සහ කලාපයේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා මෙම මාරු කිරීම් අත්‍යවශ්‍ය වූ බව ඇමරිකානු හමුදාව වැඩිදුරටත් අවධාරණය කරයි.














