දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” විශේෂ ආරක්ෂක මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව පොලිස් මූලස්ථානය අද (13) සවිස්තරාත්මක වාර්තාවක් නිකුත් කළේය. 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ වූ මෙම මෙහෙයුම ඊයේ (12) දක්වා දින 100කට අධික කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබේ.
මෙම දැවැන්ත මෙහෙයුමේ මෙතෙක් ප්‍රතිඵල මෙසේය:
අත්අඩංගුවට ගැනීම්: මාස හතරකට ආසන්න කාලයක් තුළ වැටලීම් 94,495ක් සිදුකර ඇති අතර, එහිදී පුද්ගලයන් 93,787 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මින් 1,883 දෙනෙකු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොග: මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අතිවිශාලය. ඒ අනුව අයිස් (Ice) කිලෝ 1,413ක්, හෙරොයින් කිලෝ 522ක් සහ කොකේන් කිලෝ 11කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. පුනරුත්ථාපනය: මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ලෙස හඳුනාගත් පුද්ගලයන් 1,598 දෙනෙකු රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. නෛතික පියවර: මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් සතු රුපියල් බිලියන ගණනක දේපළ තහනම් කිරීමට ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කරමින් සිටියි.














