ශ්‍රී ලංකාවේ මිලියනයකට අධික දුරකථන ග්‍රාහකයින් පිරිසක් ලබාගෙන ඇති සිම්පත් (SIM Cards) යළි ලියාපදිංචි කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලුම දුරකථන සමාගම් වෙත නියෝග කර තිබේ. මෙම පියවර ගනු ලබන්නේ විශේෂයෙන්ම 2019 අගෝස්තු 02 වැනිදාට පෙර නිකුත් කරන ලද සිම්පත් සම්බන්ධයෙන් වන අතර, එම ග්‍රාහකයින්ගේ නිවැරදි තොරතුරු දුරකථන සමාගම් සතුව නොමැති වීම නිසා අපරාධ විමර්ශන කටයුතුවලදී දැඩි බාධා එල්ල වී තිබීම මීට ප්‍රධාන හේතුවයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වන අතර, නියමිත කාලය තුළ අනන්‍යතාව තහවුරු නොකරන ග්‍රාහකයින්ගේ සබඳතා යාවත්කාලීන නොකිරීමට ද උපදෙස් දී ඇත. මීට අමතරව මියගිය පුද්ගලයින්ගේ හැඳුනුම්පත් භාවිත කර සිම්පත් ලබාගැනීම වැළැක්වීමටත්, විදේශිකයින්ගේ වීසා කාලය අවසන් වූ පසු ඔවුන්ගේ සිම්පත් අක්‍රීය කිරීමටත් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එමෙන්ම වයස අවුරුදු 16-17 අතර පසුවන්නන් සඳහා සිම්පත් නිකුත් කිරීමේදී දෙමාපිය අවසරය අනිවාර්ය කර ඇති අතර, විද්‍යුත් සිම්පත් (e-SIM) නිකුත් කිරීමේදී ග්‍රාහකයා අදාළ ආයතනය වෙත පෞද්ගලිකවම පැමිණිය යුතු බවට ද නියෝග කර ඇත.














