නිසි නිවාස හිමිකමක් නොමැති මෙරට අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “හිමිකම ඇති නිවසක් – සුන්දර ජීවිතයක්” (சொந்தமாக இருக்க இடம் – அழகான வாழ்க்கை) ජාතික වැඩසටහනේ මඩකලපුව දිස්ත්‍රික් අදියර අද (25) මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි. ජනතාවට ස්ථිර නිවසක හිමිකම ලබා දීම මගින් ඔවුන්ගේ ආත්මගරුත්වය රැකෙන අතරම අනාගතය සුරක්ෂිත වන බව රජයේ අදහසයි.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් සුදුසුකම්ලාභී පවුල් 106ක් තෝරාගෙන ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 106ක මුදලක් වෙන් කර තිබේ. අද දින පැවති උත්සවයේදී එම ප්‍රතිලාභීන් සඳහා රුපියල් මිලියන 15.9ක් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, දිස්ත්‍රික් ආණ්ඩුකාර ජේ.එස්. අරුල්රාජ් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු තංගතුරෙයි සුබාස්කරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.














