ලෝක බොක්සිං ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙකු වන මැනී පැකියාඕ සහ ෆ්ලොයිඩ් මේවෙදර් වසර 11කට පසු සිය වෘත්තීය මට්ටමේ දෙවන සටන (Rematch) සඳහා එකඟතාවයකට පැමිණ තිබේ. ලබන සැප්තැම්බර් 19 වන සෙනසුරාදා ලාස් වේගාස්හි සුප්‍රසිද්ධ ‘Sphere’ ක්‍රීඩාංගණයේදී මෙම සටන පැවැත්වීමට නියමිත අතර, එය Netflix නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා ඇත. මේ වන විට 47 වන වියේ පසුවන පැකියාඕ සහ 48 වන වියේ පසුවන මේවෙදර් අතර පැවැත්වෙන මෙම සටන බොක්සිං ලෝලීන් දශකයකට අධික කාලයක් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවකි.
තම විශ්‍රාම දිවිය නිමා කරමින් සිව්වන වරටත් වෘත්තීය බොක්සිං වළල්ලට පිවිසෙන බව මේවෙදර් පසුගිය සතියේ නිවේදනය කළේය. 2017 වසරේ කොනර් මැක්ග්‍රෙගර් පරාජය කිරීමෙන් පසු ඔහු සහභාගී වන පළමු වෘත්තීය සටන මෙය වේ. අනෙක් පසින් 2021 වසරේ දේශපාලන කටයුතු සඳහා සමුගත් මැනී පැකියාඕ පසුගිය ජූලි මාසයේදී මාරියෝ බැරියෝස් සමඟ පැවැත්වූ සටන හරහා යළිත් ක්‍රීඩාවට අවතීර්ණ විය. මෙම දෙපළ 2015 වසරේදී මුල්වරට හමු වූ අතර එම ‘ශතවර්ෂයේ සටන’ බොක්සිං ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයනු ලැබූ සටන ලෙස අදටත් වාර්තා අතර පවතී.
“මේවෙදර්ගේ වෘත්තීය ජීවිතයේ එකම පරාජය මා අතින් අත්විඳීමට ඔහුට සලස්වනවා” යැයි පැකියාඕ විශ්වාසයෙන් ප්‍රකාශ කරන අතර, මේවෙදර් පවසන්නේ තමා පෙර පරිදිම පැකියාඕ පරාජය කිරීමට සූදානම් බවයි. මේවෙදර් මේ වසරේදී මයික් ටයිසන් සමඟ ද සටනකට සහභාගී වීමට නියමිතය. මෙම සටන සඳහා වන ටිකට්පත් මිලදී ගැනීම සහ සෙසු ක්‍රීඩකයන් පිළිබඳ තොරතුරු ඉදිරි සතිවලදී නිවේදනය කිරීමට සංවිධායකයන් බලාපොරොත්තු වේ.













