පාකිස්ථාන ගුවන් හමුදාව අද (මාර්තු 13) අලුයම ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සහ දේශසීමා ආසන්නයේ පිහිටි පළාත් ඉලක්ක කරගනිමින් දියත් කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් බලධාරීන් තහවුරු කරයි. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාව යළිත් උග්‍ර කරමින් මෙම ප්‍රහාර මාලාව එල්ල වී තිබේ.
තලේබාන් රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පාකිස්ථානය විසින් කන්දහාර් ගුවන් තොටුපොළ අසල පිහිටි ‘Kam Air’ පෞද්ගලික ගුවන් සමාගමට අයත් ඉන්ධන ගබඩාවකට ද බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි. පාකිස්ථාන හමුදාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ පාකිස්ථානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන ‘Tehreek-e-Taliban Pakistan’ (TTP) සංවිධානයේ මධ්‍යස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර දියත් කළ බවයි.
තම රට තුළ සිදුවන ත්‍රස්ත ප්‍රහාරවලට වගකිවයුතු TTP සටන්කාමීන්ට ඇෆ්ගනිස්ථානය රැකවරණය ලබා දෙන බවට පාකිස්ථානය දිගින් දිගටම චෝදනා කරන නමුත් තලේබාන් රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.













