චීනයේ මැදිහත් වීම මත සතියකට වැඩි කාලයක් පැවති සාමකාමී වාතාවරණය බිඳ දමමින්, පකිස්ථානය විසින් අද (සිකුරාදා) ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ගුවන් තොටුපොළ අසල පිහිටි ‘Kam Air’ පෞද්ගලික ගුවන් සමාගමට අයත් ඉන්ධන ගබඩාවකට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ගුවන් සමාගම සිවිල් ගුවන් යානා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යානා සඳහා ද ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් බව තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් සඳහන් කළේය.
මෙම ප්‍රහාරයට අමතරව අගනුවර වන කාබුල් සහ දේශසීමා ප්‍රදේශවලට ද පකිස්ථානය ප්‍රහාර එල්ල කර ඇති අතර, සිවිල් වැසියන්ගේ නිවාස ඉලක්ක වීමෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ කාබුල්, කන්දහාර් සහ පක්ටියා ප්‍රදේශවල පිහිටි සන්නද්ධ කල්ලිවල මධ්‍යස්ථාන හතරක් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් දියත් කළ බවයි.
පකිස්ථාන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය දරුණු ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. පකිස්ථානයේ උතුරුදිග කොහාට් (Kohat) නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් එම කඳවුරට දැඩි හානි සිදුව ඇති බව ඇෆ්ගනිස්ථානය පවසයි. පසුගිය මාසයේ ඇරඹි මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දෙරට අතර සබඳතා වසර ගණනාවකට පසු දරුණුතම මට්ටමට පත්ව ඇත.
පකිස්ථානය චෝදනා කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ පකිස්ථානයට එරෙහි සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය ලැබෙන බවයි. කෙසේ වෙතත්, තලේබාන් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ පකිස්ථානයේ පවතින අභ්‍යන්තර ගැටලු සඳහා ඇෆ්ගනිස්ථානය වගකිව යුතු නොමැති බවයි. චීනයේ මැදිහත් වීමෙන් තාවකාලිකව නැවතී තිබූ සටන් මෙලෙස නැවත ආරම්භ වීම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී තිබේ.














