ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (Rajnath Singh) විසින් සිදු කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් (Khawaja Asif) මහතා ඊයේ (02) ප්‍රකාශ කළේ ඕනෑම ප්‍රහාරයකට තම රට “ඉක්මන්, මැනිය හැකි සහ තීරණාත්මක” ප්‍රතිචාරයක් ලබා දෙන බවයි. කේරළයේ පැවති මැතිවරණ රැලියකදී රාජ්නාත් සිං මහතා පවසා තිබුණේ, 2025 අප්‍රේල් මාසයේ පහල්ගාම් (Pahalgam) ප්‍රහාරයෙන් පසු ඉන්දියාව විසින් පාකිස්ථානයේ ත්‍රස්තවාදී මධ්‍යස්ථාන විනාශ කළ බවත්, “ඔපරේෂන් සින්දූර්” (Operation Sindoor) හරහා මිනිත්තු 22ක් ඇතුළත පාකිස්ථානය දණගැස්වූ බවත්ය.
මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් කවාජා අසීෆ් මහතා සඳහන් කළේ, මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ මගින් පෙනී යන්නේ ඉන්දියාවේ පවතින “මූලෝපායික නොසන්සුන්තාවය” මිස ශක්තිය නොවන බවයි. තම රටේ අභ්‍යන්තර දුර්වලතා වසා ගැනීමට සහ දේශපාලන වාසි ලබා ගැනීමට ඉන්දියාව මෙලෙස උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.
පසුගිය වසරේ මැයි මාසයේදී දෙරට අතර පැවති සිව්දින යුදමය ගැටුම සිහිපත් කරමින් පාකිස්ථාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වැරදි ගණනය කිරීම්වල ප්‍රතිවිපාක ඉතිහාසය විසින් මැනවින් පෙන්වා දී ඇති බවයි. පහල්ගාම් ප්‍රහාරයේ සංවත්සරය ආසන්න වෙත්ම දෙරට අතර මෙවැනි වාචික ගැටුම් උත්සන්න වීම කලාපීය ආරක්ෂාව පිළිබඳව නැවතත් සැක සංකා මතු කර තිබේ.














