ඇමරිකා – ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ පකිස්ථානය තුළ දැඩි ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, ඒ අනුව එරට ඉන්ධන මිල ගණන් අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි අතිවිශාල ලෙස ඉහළ නංවා තිබේ. පකිස්ථාන රජය නිවේදනය කර ඇති පරිදි ඩීසල් ලීටරයක මිල සියයට 54.9 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල පකිස්ථාන රුපියල් 520.35 කි. පෙට්‍රල් ලීටරයක මිල සියයට 42.7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458.40 කි.
පකිස්ථාන ඛනිජ තෙල් අමාත්‍ය අලි පර්වේස් මලික් (Ali Pervaiz Malik) ප්‍රකාශ කළේ, ඇමරිකා – ඉරාන යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල පාලනයෙන් බැහැර වී ඇති බැවින් මෙම මිල ඉහළ නැංවීම වැළැක්විය නොහැකි වූ බවයි. මීට අමතරව භූමිතෙල් ලීටරයක මිල ද පකිස්ථාන රුපියල් 457.80 දක්වා ඉහළ ගොස් ඇත. ඉන්ධන මිල මෙලෙස ඉහළ යාම එරට ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට සෘජුවම බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
පවතින දැඩි පීඩනය අවම කිරීම සඳහා රජය විසින් පෙට්‍රල් මත අය කරන බද්ද (Levy) ඉහළ නංවා ඇති අතර, ඩීසල් මත පනවා තිබූ බදු ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම හදිසි මිල ඉහළ දැමීමත් සමඟ පකිස්ථානයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව ද වාර්තා වේ.














