ඉරානය සහ අමෙරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා පකිස්ථාන ධජය සහිත අතිරේක නෞකා 20කට ගමන් කිරීමට ඉරානය එකඟතාව පළ කර ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා පවසයි. ඊයේ (28) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, නව එකඟතාවය අනුව දිනකට පකිස්ථාන නෞකා දෙක බැගින් මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට නියමිත බවයි. කලාපීය සාමය සහ ස්ථාවරත්වය උදෙසා ඉරානය ගත් මෙම තීරණය ඉතා වැදගත් සහ ප්‍රශංසනීය පියවරක් බව ද විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම පියවර මඟින් කලාපයේ පවතින යුදමය උණුසුම අවම කිරීමට සහ සාම ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි පකිස්ථානය විශ්වාසය පළ කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහනයට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ, පකිස්ථානය වැනි මිත්‍ර රටවල් සඳහා මෙලෙස සහන සැලසීමට ඉරානය තීරණය කර තිබේ. මෙම තීරණයත් සමඟ පකිස්ථානයේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට යම් සහනයක් ලැබෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














