අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා හෙට (11) ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිතව තිබියදී, පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඊශ්‍රායලය දැඩි ලෙස කුපිත වී තිබේ. ඊශ්‍රායලය කලාපයේ “පිළිකාවක්” බවත්, එය මනුෂ්‍යත්වයට සාපයක් බවත් පවසමින් ඔහු ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක් මෙම අර්බුදයට මුල් වී ඇත.
ආරක්ෂක අමාත්‍යවරයා සිය සටහන මගින් පෙන්වා දී තිබුණේ, ලෙබනනය තුළ ඊශ්‍රායලය විසින් සිදුකරන ප්‍රහාර හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසක් මිය යන බවයි. ගාසා තීරය සහ ඉරානයෙන් පසු දැන් ලෙබනනය තුළ ලේ වැගිරීම් සිදුකරන ඊශ්‍රායලය, පලස්තීන භූමිය තුළ බිහිකළ යුරෝපීය යුදෙව් රාජ්‍යයක් බවත් ඔහු එහි සඳහන් කර තිබුණි. සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන රටක වගකිවයුතු අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් කිරීම ඊශ්‍රායලයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
ඊශ්‍රායල අගමැති කාර්යාලය මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, මෙය මධ්‍යස්ථ බේරුම්කරුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි, “යුදෙව් විරෝධී” ප්‍රකාශයක් බවයි. මෙම ප්‍රකාශය හරහා ඊශ්‍රායලය මුළුමනින්ම විනාශ කළ යුතු බවට ව්‍යංගයෙන් අදහස් පළ කර ඇති බවට ද ඔවුන් චෝදනා කළහ. ඊශ්‍රායලයේ මෙම දැඩි විරෝධය හමුවේ ආරක්ෂක අමාත්‍යවරයා පසුව සිය ‘X’ සටහන මකා දැමීමට කටයුතු කර ඇතත්, හෙට පැවැත්වෙන සාම සාකච්ඡා කෙරෙහි මෙහි බලපෑම පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික අංශ අවධානයෙන් පසුවේ.














