වසරකට පෙර ජාත්‍යන්තරය හමුවේ හුදකලා වී සිටි පාකිස්තානය, මේ වන විට මැදපෙරදිග ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව සහ ඉරානය අතර විශ්වාසවන්ත කලාපීය හවුල්කරුවෙකු සහ ප්‍රධාන මැදිහත්කරුවෙකු (Mediator) බවට පත්ව තිබේ. පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසිම් මුනීර් (Field Marshal Asim Munir) මහතාගේ සෘජු මැදිහත්වීම මත මෙම කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රික වෙනස සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ෆීල්ඩ් මාර්ෂල් අසිම් මුනීර් මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේදී පෞද්ගලික දිවා භෝජන සංග්‍රහයකට එක්වීම ඇතුළු තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. එසේම ඇමෙරිකානු හමුදා භටයන් ඝාතනය කළ බවට චෝදනා ලැබූ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) බෝම්බකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට භාර දීම හරහා පාකිස්තානය සිය ජාත්‍යන්තර විශ්වසනීයත්වය යළි තහවුරු කරගෙන ඇත. මෙය 2011 වසරේ ඔසාමා බින් ලාඩන් සිදුවීමෙන් පසු පළුදු වී තිබූ ඇමෙරිකා-පාකිස්තාන සබඳතාවල නව හැරවුම් ලක්ෂයකි.
මීට අමතරව, පාකිස්තානය සිය ප්‍රධාන මිතුරා වන චීනය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, ඇමෙරිකාව සහ චීනය අතර සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සමත්ව තිබේ. ඉකුත් මාර්තු 29 වනදා ඉස්ලාමාබාද් නුවරදී ඊජිප්තුව, සෞදි අරාබිය සහ තුර්කියේ විදේශ අමාත්‍යවරුන් හමුවී කලාපීය නොසන්සුන්තාවය සමනය කිරීමට පාකිස්තානය ගත් උත්සාහය ද ලෝකයේ අවධානයට ලක් විය. කලාපීය සහ ආර්ථික පීඩනයන් හමුවේ වුවද, පාකිස්තානය ලබාගෙන ඇති මෙම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණය දකුණු ආසියානු කලාපයේ බලය සමතුලිත කිරීමට විශාල බලපෑමක් එල්ල කරනු ඇත.















