බටහිර ආසියාවේ හතරවන සතියටත් ඇදී යන යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා පකිස්ථානය, ඊජිප්තුව, සවුදි අරාබිය සහ තුර්කිය එක්ව විශේෂ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහකට කල් දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය ඉරිදා පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව, පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අතර ද දුරකථන සංවාදයක් පැවැත්වී ඇත. ඇමරිකානු නියෝජිත කණ්ඩායම සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට පකිස්ථානය ප්‍රමුඛ රටවල් මැදිහත් වී ඇති අතර, මීළඟ සාම සාකච්ඡා සඳහා වේදිකාව ලෙස පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර යොදාගැනීමට වැඩි ඉඩකඩක් පවතින බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡා පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, දෙපාර්ශවය අතර පවතින විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්ධන සහ පොහොර සැපයුමට ගෝලීය වශයෙන් එල්ල වී ඇති බලපෑම හමුවේ, පකිස්ථානය වැනි රටක් මෙවැනි සාකච්ඡාවකට සත්කාරකත්වය ලබාදීම කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලනය තුළ ඔවුන්ගේ ස්ථාවරය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.














