මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින ඇමරිකානු – ඉරාන යුද ගැටුම සමනය කිරීම සඳහා මැදිහත්කරුගේ (Mediator) භූමිකාව ඉටු කිරීමට පකිස්ථානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් (Ishaq Dar) ප්‍රකාශ කර තිබේ. පකිස්ථානය කෙරෙහි ඇමරිකාව සහ ඉරානය යන දෙපාර්ශවයම සිය විශ්වාසය පළ කර ඇති බවත්, ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ වීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම සාකච්ඡා සෘජු හෝ වක්‍ර ආකාරයෙන් සිදුවිය හැකි අතර, සෞදි අරාබිය, ඊජිප්තුව සහ තුර්කිය යන රටවල විදේශ අමාත්‍යවරුන් ද මෙම සාම වැඩපිළිවෙල සඳහා සිය සහය පළ කර ඇත. පසුගිය ඉරිදා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ ඇති අතර, සඳුදා (අද) දිනයේදී ද තවත් වටයක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, පකිස්ථානයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකාව හෝ ඉරානය මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැති වුවද, කලාපීය සාමය උදෙසා පකිස්ථානය ගන්නා මෙම උත්සාහය ජාත්‍යන්තර ප්‍රජාවගේ ඇගයීමට ලක්ව තිබේ. යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට සහ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය හමුවේ මෙම සාකච්ඡා ඉතා තීරණාත්මක වනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














