අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් දරුණු වීම වැළැක්වීම සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් විසින් පනවා ඇති ‘අවසන් හෝරාව’ (Deadline) තවත් සති දෙකකින් කල් දමන ලෙසත්, ඒ අතරතුර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා අවස්ථාව ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා ඇත.
පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සාමය උදෙසා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සති දෙකක කාලයකට විවෘත කරන ලෙස තමන් ඉරාන “සහෝදරයින්ගෙන්” ද ඉල්ලා සිටින බවයි. මීට සුළු මොහොතකට පෙර වයිට් හවුස් (White House) ප්‍රකාශ කළේ, ජනාධිපති ට්‍රම්ප් මෙම යෝජනාව පිළිබඳව දැනුවත් වී ඇති අතර එය සලකා බලමින් පවතින බවයි.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙම ඉල්ලීම අහඹු ලෙස සිදුවූවක් නොව අමෙරිකාව සහ පකිස්ථානය අතර කල්තියා ඇති කරගත් එකඟතාවයක් (Coordination) විය හැකි බවයි. ජනාධිපති ට්‍රම්ප් මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙලෙස කාලසීමාවන් දීර්ඝ කර ඇත්තේ සාකච්ඡා සඳහා ඉඩ ලබා දෙන බව පවසමිනි. කෙසේ වෙතත්, ටෙහෙරාන් වේලාවෙන් රාත්‍රී 23:00 ට එල්ල කිරීමට නියමිත බව පැවසෙන ඉරාන ප්‍රතිප්‍රහාර මාලාව සහ තෙහෙරාන් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාර හමුවේ, මෙම සති දෙකක සහනය ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිතය.
තොරතුරු උපුටා ගැනීම: Reuters, AFP සහ mario nawfal(x) ඇසුරින්














