ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට එරෙහිව පාකිස්ථානය පුරා ඇවිළී යන ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන්, පෙෂාවර් හි පිහිටි ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු මාර්තු 02 වැනිදා සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරවලින් කමේනි ඝාතනය වීමත් සමඟ පාකිස්ථාන වැසියන් මහමඟට බැස විරෝධය පළ කරමින් සිටින අතර, මේ හේතුවෙන් කරච්චි සහ ලාහෝර් නුවර පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාල අවට ආරක්ෂාව ද අතිශයින් තර කර ඇත.
කරච්චි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලය අසලදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ දරුණු ගැටුම්වලින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉස්ලාමාබාද් නුවරදී තවත් දෙදෙනෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරන පසුබිමක, අද දිනට නියමිතව තිබූ සියලුම ඇමරිකානු වීසා සම්මුඛ පරීක්ෂණ සහ පුරවැසි සේවා අවලංගු කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. පවතින අනාරක්ෂිත වාතාවරණය හමුවේ ඇමරිකානු පුරවැසියන්ට ද දැඩි අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.














