මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති විස්සයි-20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයකදී පාකිස්තානය පරදවා කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර පාකිස්තානයේ ඉදිරි ගමන දැඩි අවදානමකට ලක් විය. ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෲක්, පන්දු 51 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමඟින් සිය මංගල විස්සයි-20 ජාත්‍යන්තර ශතකය රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. එංගලන්තය පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගනිමින් තරගය නිමා කළ අතර විල් ජැක්ස් ලකුණු 28 කින් බෲක්ට අනගි සහායක් ලබා දුන්නේය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් ශහීන් අෆ්රිඩි ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්තයට දැඩි පීඩනයක් එල්ල කළද බෲක්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ එය නිෂ්ඵල විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් රැස් කළේය. එහිදී සහීබ්සාදා ෆර්හාන් පන්දු 45 කින් ලකුණු 63 ක් රැස් කරමින් මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර බාබර් අසාම් සහ ෆකාර් සමාන් ලකුණු 25 බැගින් ලබා ගත්හ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලයෑම් ඩෝසන් ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර ජොෆ්රා ආචර් සහ ජෙමී ඕවර්ටන් කඩුලු 2 බැගින් දවාගත්හ. බෲක් සහ සෑම් කරන් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 45 ක සම්බන්ධතාවය සහ විල් ජැක්ස් සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 52 ක සම්බන්ධතාවය එංගලන්තයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ සුපිරි 8 වටයේ දෙවැනි කොටසේ පෙරමුණ රැකගැනීමට එංගලන්තය සමත්ව සිටියි.














