මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබියදී, තම හඳුනාගැනීමේ පද්ධති (AIS) ක්‍රියාත්මක කරමින් එම මුහුදු සන්ධිය හරහා ගමන් කළ පළමු ඉරාන නොවන වාණිජ නෞකාව ලෙස පකිස්ථානයට අයත් ‘කරච්චි’ (Karachi) නෞකාව වාර්තාගත වී තිබේ. නාවික ගමන් පථ නිරීක්ෂණය කරන MarineTraffic ආයතනය පවසන්නේ, සති කිහිපයක සිට මෙම මුහුදු සන්ධිය හරහා සිදුවන ගමනාගමනය අවම වී තිබියදී මෙම නෞකාව ආරක්ෂිතව ගමන් කිරීම විශේෂත්වයක් බවයි.
අබුඩාබි හි ‘දාස්’ (Das) බොරතෙල් රැගත් මෙම ඇෆ්රාමැක්ස් (Aframax) වර්ගයේ තෙල් නැව මීටර් 237ක දිගින් යුක්ත වන අතර, එය බර තෙල් තොගයක් සහිතව ඉතා ගැඹුරින් මුහුදේ පාවෙමින් තිබූ බව නිරීක්ෂණය වී ඇත. ඉරිදා දින ඉරාන මුහුදු සීමාවට ඇතුළු වූ මෙම නෞකාව, තම ස්වයංක්‍රීය සංඥා පද්ධතිය ක්‍රියා විරහිත නොකරම ඉතා සාර්ථකව හෝමූස් සමුද්‍ර සන්ධිය පසු කර මේ වන විට ඕමාන් බොක්ක හරහා යාත්‍රා කරමින් පවතින බව MarineTraffic ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිදුවීමෙන් පෙනී යන්නේ කලාපීය යුද්ධය මධ්‍යයේ වුවද, ඇතැම් තෝරාගත් නෞකා සඳහා ඉරානය සමඟ ඇති කරගත් විශේෂ එකඟතා මත ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘දාස් දූපත’ (Das Island) තෙල් පර්යන්තයේ සිට පැමිණි මෙම නෞකාව සාර්ථකව ගමන් කිරීම, ජාත්‍යන්තර බලශක්ති සැපයුම් දාමයට යම් බලාපොරොත්තුවක් එක් කරනු ඇතැයි නාවික විචාරකයෝ පවසති.














