පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ඊයේ (මාර්තු 03) පැවැති මාසික සභා රැස්වීම වර්ජනය කර පිටතට පැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ දෙපිරිසක් අතර දරුණු ගැටුමක් හටගෙන තිබේ. මෙම සිද්ධිය හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මාර්තු මාසයට අදාළ සභා වාරය අතරතුර හිටපු සභාපති ධම්මික රණසිංහ මහතා ඇතුළු පිරිසක් මුලින්ම සභාවෙන් පිටව ගොස් ඇති අතර, අනතුරුව එම පක්ෂයේම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයා ද සභාව වර්ජනය කර තිබේ. ගැටුම හටගෙන ඇත්තේ අවසානයට සභාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරයා, එහි රැඳී සිටි අනෙක් මන්ත්‍රීවරුන්ට එරෙහිව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමත් සමඟය.
එම ප්‍රකාශය නිසා දෙපිරිස අතර ඇති වූ බහින්බස්වීම පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත. වහාම ක්‍රියාත්මක වූ සභාපතිවරයා බදුරලිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා බදුරලිය රෝහලට ඇතුළත් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














