මීට වසර එකහමාරකට පෙර පානදුර ප්‍රදේශයේදී අභිරහස් ලෙස අතුරුදන් වූ 31 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු ඝාතනය කර හොරණ ප්‍රදේශයේ සූසාන භූමියක වළ දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් ඊයේ (02) සිදුකළ මෙහෙයුමකදී මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 44 සහ 64 යන වයස්වල පසුවන මාලමුල්ල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි සඳුන් උදාර අල්විස් නමැති පුද්ගලයෙකි. ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සළිඳු’ විසින් මෙහෙයවන ලද මනුෂ්‍ය ඝාතනයක රජයේ සාක්ෂිකරුවකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. සාක්ෂි වසන් කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කෙරේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඝාතනයෙන් පසු සිරුර හොරණ තිබ්බටුගොඩ සූසාන භූමියේ රහසිගතව වළ දැමූ බවයි. සිරුර ගොඩගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි. මෙම සිදුවීමත් සමඟ පානදුර ප්‍රදේශයේ අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් පිළිබඳව පොලිසිය දැඩි අවධානයක් යොමු කර තිබේ.














